*මෙම චක්‍රලේඛයෙහි සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි භාෂා පාඨ අතර යම් අනනුකූලතාවක් ඇති වුවහොත්, එවිට, සිංහල භාෂා පාඨය බලපැවැත්විය යුතුය.
*මෙම චක්‍රලේඛයෙහි සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි භාෂා පාඨ අතර යම් අනනුකූලතාවක් ඇති වුවහොත්, එවිට, සිංහල භාෂා පාඨය බලපැවැත්විය යුතුය.
තරග කොන්දේසි සහ විස්තර
තරග ව්‍යුහය
තරග කාණ්ඩ
01 වාර්තාමය ඡායාරූප. (ප්රවෘත්ති ඡායාරූප, ක්‍රීඩා ඡායාරූප, සහභාගී ඡායාරූප ආදී...)
සාර්ථක වාර්තාමය වටිනාකම් සහිත ඡායාරූප නිර්මාණයන් මෙම තරග කාණ්ඩය සඳහා භාරගනු ලැබේ. යම් ප්රපංචයක් වඩා සත්‍ය වාර්තාමය ලෙසත්, වඩා ප්රකාශනාත්මක ලෙසත් ඉදිරිපත් කිරීම උදෙසා ඡායාරූපමය චින්තනය, සංරචනය, සහ තාක්ෂණික ශක්‍යතාවන් භාවිත කර ඇති ආකාරය මෙම තරග කාණ්ඩයේදී සුවිශේෂී ලෙස සලකා බලනු ලැබේ. ඡායාරූපය ග්‍රහණය කරගන්නා මොහොත පිළිබඳ විශ්වාසවන්ත ස්වභාවය ඉක්මවා යන පරිදි පසු සැකසුම් (post processing) කටයුතු සිදු කරන ලද ඡායාරූප මෙම කාණ්ඩය සඳහා ඉදිරිපත් කළ නොහැකි වෙයි. ඡායාරූපය එහි "වාර්තාමය විශ්වාසවන්තභාවය" ඉක්මවා යන පරිදි පසු සංස්කරණයන්ට බඳුන්කොට ඇති බව ජූරි සභාව විසින් තීරණය කරන ඡායාරූපයක් හෝ ඡායාරූප සංරචනයක් (photo essay) තරගයෙන් ඉවත් කිරීමේ සම්පූර්ණ බලය ජූරි සභාව සතු වේ. ජූරි සභාව විසින් ඉල්ලා සිටින ඕනෑම අවස්ථාවකදී ඡායාරූපයේ සෘජු ග්‍රහණය කරගැනීමට අදාල සංඛ්‍යාංක ගොනුව ලබාදීමට ඡායාරූප ශිල්පියා බැඳී සිටී.
02 ස්වභාව සහ පාරිසරික ඡායාරූප. (වනජීවී ඡායාරූප, ස්වභාවධර්මයෙහි අපූර්වත්වයන් විදහා දක්වන ඡායාරූප, භූමිදර්ශන ඡායාරූප ආදී...)
වඩා අපූර්ව සහ සෞන්දර්යාත්මක ලෙසත්, සොබාදහම හා බැඳුණු වටිනාකම්, සාධාරණ, තථ්‍ය ප්‍රකාශන ලෙසත් ඉදිරිපත් කෙරෙන ඡායාරූප මෙම කාණ්ඩය යටතේ ඉදිරිපත් කළ හැකි වෙයි. ඡායාරූපය ග්‍රහණය කරගන්නා මොහොත පිළිබඳ විශ්වාසවන්ත ස්වභාවය ඉක්මවා යන පරිදි පසු සැකසුම් කටයුතු සිදු කරන ලද ඡායාරූප මෙම කාණ්ඩය සඳහා ඉදිරිපත් කළ නොහැකි වෙයි. ඡායාරූපය එහි "වාර්තාමය විශ්වාසවන්තභාවය" ඉක්මවා යන පරිදි පසු සංස්කරණයන්ට බඳුන්කොට ඇති බව ජූරි සභාව විසින් තීරණය කරන ඡායාරූපයක් හෝ ඡායාරූප සංරචනයක් (photo essay) තරගයෙන් ඉවත් කිරීමේ සම්පූර්ණ බලය ජූරි සභාව සතු වේ. මානව නිර්මිතයන් අඩංගු වන ඡායාරූපයක් වුවද, ස්වභාවධර්මය අවශ්‍ය පමණට ඉස්මතු කර තිබෙන වග තෝරාගැනීමේ මණ්ඩලය විසින් පිළිගන්නේ නම් එය තරගයට ඇතුළත් කර ගැනේ. ජූරි සභාව විසින් ඉල්ලා සිටින ඕනෑම අවස්ථාවකදී ඡායාරූපයේ සෘජු ග්‍රහණය කරගැනීමට අදාල සංඛ්‍යාංක ගොනුව ලබාදීමට ඡායාරූප ශිල්පියා බැඳී සිටී.
03 සමාජමය සහ මානව අනන්‍යතා හා සබැඳි ඡායාරූප (වීථි ඡායාරූප, ජීවන විලාස ඡායාරූප, ආලේඛ්‍ය ඡායාරූප, විලාසිතා සහ නිරූපණ ඡායාරූප, මානව ශරීර ලක්ෂණයන් විදහා දැක්වෙන ඡායාරූප ආදී...)
මානව සමාජය, මානව වටිනාකම්, මානව සබඳතාවන් සහ අනන්‍යතාවන්, මිනිස් ජීවිතය සහ එහි පැවැත්මේ නොයෙක් දෘශ්‍යමය සංලක්ෂණයන් පිළිබඳ විවිධ පැතිකඩ ඔස්සේ අවධානය යොමු කරන ඡායාරූප මෙම තරග කාණ්ඩය සඳහා ඉදිරිපත් කළ හැකි වේ. පසු සංස්කරණයන් සහිත, කෘත්‍රිම බුද්ධිය ආශ්‍රිතව නිර්මාණය කරන ලද, හෝ එකලස් නිර්මාණයන්ද ඉදිරිපත් කිරීමට සීමාවකින් තොරව අවස්ථාව ලබා දෙනු ඇත.
04 සංකල්පමය, සහ පර්යේෂණාත්මක ඡායාරූප (අධිතාත්විකවාදී ඡායාරූප, අමූර්ත නිර්මාණ ඡායාරූප ආදී...)
ඡායාරූපය, ඡායාරූපකරණය, ඡායාරූප තාක්ෂණය හෝ ඡායාරූපයේ ස්වභාවය පිළිබඳ පර්යේෂණාත්මක ලෙස නිර්මාණය කරන ලද ඡායාරූප මෙන්ම නව සංකල්පීය එළඹුම් හරහා නිර්මාණය කරන ලද ඡායාරූපද මෙම තරග අංශය සඳහා භාරගැනේ. පසු සංස්කරණයන් සහිත, කෘත්‍රිම බුද්ධිය ආශ්‍රිතව නිර්මාණය කරන ලද, හෝ එකලස් නිර්මාණයන්ද ඉදිරිපත් කිරීමට සීමාවකින් තොරව අවස්ථාව ලබා දෙනු ඇත.
05 වාර්ෂික තේමා කාණ්ඩය.
සෑම වසරකම යම් ලබාදෙන ලද නිශ්චිත තේමාවක් හා අනුගතවන පරිදි සිය නිර්මාණයන් ඉදිරිපත් කිරීමේ හැකියාව තරගකරුවන්ට තිබේ. 2025 වසර සඳහා තේමාව "අභියෝග (challenges)" වේ. පසු සංස්කරණයන් සහිත, කෘත්‍රිම බුද්ධිය ආශ්‍රිතව නිර්මාණය කරන ලද, හෝ එකලස් නිර්මාණයන්ද ඉදිරිපත් කිරීමට සීමාවකින් තොරව අවස්ථාව ලබා දෙනු ඇත.
එකම කෘතියක් වුව තරග කාණ්ඩ දෙකකට හෝ කිහිපයකට ඉදිරිපත් කළ හැකි වුවද, එකම කෘතියකට කාණ්ඩ දෙකක හෝ වැඩි ගණනක ජයග්‍රහණ අවස්ථා ලබා නොදෙනු ඇත. එකම කෘතියක් තරග කාණ්ඩ කිහිපයක ජයග්‍රහණ ලබා තිබුණහොත්, ඉහළම ජයග්‍රහණ අවස්ථාවක් පමණක් ලබා දී එම ඡායාරූපය අනෙක් කාණ්ඩයන්ගේ සම හෝ පහළ ජයග්‍රහණ අවස්ථාවන්ගෙන් ඉවත් කෙරෙනු ඇත.
තරග අංශ
තනි ඡායාරූප
ඡායාරූප සංරචන (photo essay)
ඉහත දක්වන ලද සියලුම තරග කාණ්ඩ තුළ, තරග අංශ දෙකක් බැගින් පවතී. තරගකරුවන්ට සියලුම තරග කාණ්ඩ සඳහා මෙම අංශ දෙකෙන්ම සිය කෘතීන් ඉදිරිපත් කළ හැකි වෙයි. තනි ඡායාරූප තරග අංශය වෙනමත්, ඡායාරූප 3 ක අවමයක් සහ 8 ක උපරිමයකට යටත්ව ඉදිරිපත් කළ හැකි ඡායාරූප සංරචන (photo essay) අංශය වෙනමත් විනිශ්චයට බඳුන් කරනු ලැබෙන අතර ජයග්‍රාහකයින් තෝරාගැනීමද මෙම අංශ දෙක සඳහා වෙන් වෙන් වශයෙන් සිදු කෙරෙනු ඇත.
තරග කොන්දේසි සහ විස්තර
I. මේ අනුව සමස්ත තරග කොටස් දහයක් (තරග කාණ්ඩ පහක් සහ එකී එක් කාණ්ඩයක් සඳහා වන තරග අංශ දෙක බැගින්) සඳහා රාජ්‍ය මට්ටමින් අගය කිරීම් මෙම උළෙලෙහිදී සිදු කෙරේ. සියලුම තරග කොටස් සඳහා ප්‍රථම, දෙවන සහ තෙවන ස්ථාන මෙන්ම කුසලතා ස්ථානයන් පහක් ද තෝරා ගැනෙන අතර යම්කිසි තරග කොටසක් සඳහා යම් ජයග්‍රාහී ස්ථානයක් වෙනුවෙන් සුදුසු කෘතියක් ඉදිරිපත්ව නොපවතින බව තේරීම් මණ්ඩලය විසින් තීරණය කරන්නට යෙදුණහොත් එම ජයග්‍රාහී ස්ථානය සඳහා වන ත්‍යාග සහ සහතිකපත් ආදිය පිරිනොනැමෙනු ඇත. ජූරියේ විශේෂ සම්මානයන් වෙතොත් ඒවා තේරීම් මණ්ඩලයේ තීරණය මත එක් තරග කොටසක් වෙනුවෙන් උපරිම වශයෙන් එක් ජූරියේ විශේෂ සම්මානයක් යන කොන්දේසියට යටත්ව පිරිනැමෙනු ඇත.
II. ඕනෑම තරගකරුවකුට කිසිදු භේදයකින් තොරව ඕනෑම තරග කාණ්ඩයක් සඳහා සිය නිර්මාණ ඉදිරිපත් කළ හැකි වෙයි. එක් තරග කාණ්ඩයක් සඳහා සිදු කළ හැකි උපරිම ඉදිරිපත් කිරීම් සංඛ්‍යාව හතර (04) කි. (තනි ඡායාරූප සහ ඡායාරූප සංරචන සියල්ලෙහි එකතුව 4 ක් හෝ ඊට අඩු විය යුතුය.)
III. සියලු නිර්මාණයන් සමග සිය නිර්මාණය පිළිබඳ ප්‍රේක්ෂකයාට ඉදිරිපත් කළ හැකි වචන 50 කට නොඅඩු, වචන 100 කට නොවැඩි සටහනක් සිංහල, දෙමළ හෝ ඉංග්‍රීසි යන ඕනෑම භාෂාවකින් ලබාදීම අනිවාර්ය වේ. මෙම සටහන රහිතව ඉදිරිපත් කෙරෙන නිර්මාණ ප්‍රතික්ෂේප කරනු ලැබේ.
IV. එකම ඡායාරූපයක් වුව තරග කාණ්ඩ දෙකකට හෝ කිහිපයකට ඉදිරිපත් කළ හැකි වුවද, එකම ඉදිරිපත් කිරීමකට කාණ්ඩ දෙකක හෝ වැඩි ගණනක ජයග්‍රහණ අවස්ථා ලබා නොදෙනු ඇත. එකම කෘතියක් (තනි ඡායාරූපයක් හෝ සංරචනයක්) තරග කාණ්ඩ කිහිපයක ජයග්‍රහණ ලබා තිබුණහොත්, ඉහළම ජයග්‍රහණ එක් අවස්ථාවක් පමණක් ලබා දී එම කෘතිය අනෙක් කාණ්ඩයන්ගේ සම හෝ පහළ ජයග්‍රහණ අවස්ථාවන්ගෙන් ඉවත් කෙරෙනු ඇත. එකම අවස්ථාවක ග්‍රහණය කරගන්නා ලද, ජූරිය විසින් තීරණය කරනු ලබන පරිදි, සැලකිය යුතු මට්ටමේ වෙනස්කම් ඇතැයි සැලකිය නොහැකි අනුයාත ඡායාරූප ද, කුඩා වෙනස්කම් සහිතව වුව, එකම ඡායාරූපයක් ලෙස සලකා ක්‍රියා කරනු ලැබේ.
V. ඒකවර්ණ (monochrome) හෝ වර්ණ (color) ඡායාරූප ඉදිරිපත් කළ හැකි වෙයි. ඡායාරූපයෙහි දිග පැත්ත පික්සල් 1920 හෝ පළල පැත්ත පික්සල් 1080 යන නිර්ණායකයන් දෙකෙන් අවම වශයෙන් එකකට අනුකූල වන සේ ඡායාරූප ඉදිරිපත් කළ යුතු වේ.
VI. ඡායාරූප ගොනුව sRGB හෝ AdobeRGB සම්මත වර්ණ පරාසය තුළ පැවතිය යුතු අතර එක් ඡායාරූපයක උපරිම ගොනු ධාරිතාව 2MB ට වැඩි නොවිය යුතුය.
VII. කෘතියේ අන්තර්ගතයට අදාළ නොවන දිය සලකුණු, දින, මුද්‍රාවන් ආදී බාහිර සලකුණු යෙදූ ඡායාරූප වෙතොත් එබඳු ඡායාරූප තරගයෙන් ඉවත් කරනු ලැබේ.
VIII. ප්‍රමාද වී ලැබෙන සහ තරග කොන්දේසිවලට පටහැනි ලෙස ඉදිරිපත්ව තිබෙන කෘතීන් පෙර දැනුම්දීමකින් තොරව තරගයෙන් ඉවත් කෙරෙනු ඇත.
IX. යම් කෘතියක සෘජු ග්‍රහණය කරගැනීමට අදාළ සංඛ්‍යාංක ගොනුව සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව විසින් ඉල්ලා සිටින අවස්ථාවකදී එය ලබාදීමට ඡායාරූප ශිල්පියා අසමත් වුවහොත්, අදාළ කෘතිය තරගයෙන් ඉවත් කිරීමට, ජයග්‍රහණ ලබා නොදීමට හෝ ලබාදුන් ජයග්‍රාහී සම්මාන, මුදල් ත්‍යාග සහ සහතිකපත් අවලංගු කොට නැවත කැඳවීමට එය ප්‍රමාණවත් හේතුවක් සේ සලකනු ලැබේ.
X. කෘතීන් උඩුගතකිරීමේදී හෝ බාගතකිරීමේදී සිදුවන හානි පිළිබඳ කිසිදු වගකීමකට සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව බැඳී නොසිටී.
XI. යම් තරග අංශයකට අදාළ කොන්දේසිවලට, තාක්ෂණික ප්‍රමිතීන්ට සහ නිර්ණායකයන්ට අනුකූල කෘතීන් නොලැබුණු අවස්ථාවකදී අදාළ තරග අංශ සඳහා වන ත්‍යාග, සහතිකපත් හෝ සම්මාන ලබා නොදීමට මෙන්ම ජූරි සභාව විසින් තීරණය කරන ලද අවස්ථාවකදී, ලබාදුන් ජයග්‍රාහී සම්මාන, මුදල් ත්‍යාග සහ සහතිකපත් ඇතුළු ඕනෑම ආකාරයක පිරිනමන ලද්දක් අවලංගු කොට නැවත කැඳවීමට තේරීම් මණ්ඩලයට පූර්ණ බලතල හිමිවේ.
XII. තරගය සඳහා ඉදිරිපත් කෙරෙන සියලු කෘතීන්, එකී ඉදිරිපත් කරන ශිල්පියා විසින් ග්‍රහණය කරගන්නා ලද/නිර්මාණය කරන ලද කෘතීන් විය යුතුය. කෘතියෙහි අයිතිය පිළිබඳ යම් නෛතික ගැටලුවක් ඇති වුවහොත් තේරීම් මණ්ඩලය හෝ සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව හෝ ඒ සඳහා මැදිහත් නොවේ.
XIII. තරග වංචාවන් සිදුකිරීමට උත්සාහ කරන ලද බවට හඳුනාගන්නා තරගකරුවන් අසාදු ලේඛනගත කිරීමට සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව විසින් කටයුතු කරනු ලැබේ.
XIV. කිසිදු පුද්ගලයකු හෝ සමාජ කණ්ඩායමක් අගතියට පත්වන සේ නිර්මාණය වූ කෘතීන් තරගය සඳහා ඉදිරිපත් නොකළ යුතුය. එබඳු කරුණක් අරභයා යම් මතභේදාත්මක හෝ නෛතික හෝ ගැටලුකාරී තත්වයන් ඇති වේ නම්, සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව ඒ සඳහා මැදිහත් නොවන්නා සේම, එහි වගකීමද සහමුලින්ම තරගකරු විසින් භාරගත යුතු වේ.
XV. තරගය සඳහා ඉදිරිපත් කෙරෙන සියලු කෘතීන්ගේ බුද්ධිමය දේපළ අයිතිය ශිල්පියා සතුවන අතර ප්‍රචාරණ කටයුතු සඳහා යොදාගැනීමේ අයිතිය සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවට හිමිවේ.
XVI. පූර්ව අවස්ථාවක රාජ්‍ය ඡායාරූප උළෙලකදී සම්මානයට පාත්‍ර වූ ඡායාරූප ඉදිරිපත් නොකළ යුතු වේ.
XVII. තරගය සඳහා ඉදිරිපත් වීම සියලු තරග කොන්දේසි පිළිගැනීමක් සේ සැලකේ.
XVIII. මෙම තරගය, ප්‍රදර්ශනය සහ සම්මාන උළෙල සම්බන්ධ සියලු ප්‍රතිපත්තිමය තීරණයන්හි අවසන් තීරකයා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ වේ.
XIX. තරගය සඳහා අයදුම්පත් යොමුකිරීම සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ www.dca.lk වෙබ් අඩවියට පිවිස අදාළ අයදුම්පත සම්පූර්ණ කර උඩුගත කිරීමෙන් සිදු කළ යුතුය.
XX. මෙම තරගයට ඇතුලත්වීම සඳහා කිසිදු අය කිරීමක් නැත.
XXI. තරගයේදී සියලුම කරුණු පිළිබඳ අවසන් තීරණය අදාළ තරග කාණ්ඩය සඳහා වන තේරීම් මණ්ඩලය සතු වන අතර රාජ්‍ය දෘශ්‍යකලා අනුමණ්ඩලය ඒ සඳහා කිසිදු ආකාරයක අතපෙවීමක් සිදුකරනු නොලබයි.
XXII. රාජ්‍ය දෘශ්‍යකලා සම්මාන උළෙලෙහි කොටසක් ලෙස පැවැත්වෙන රාජ්‍ය ඡායාරූප සම්මාන උළෙලෙහිදී අදාළ ජයග්‍රාහක, ජයග්‍රාහිකාවන් වෙත ත්‍යාග, සම්මාන සහ සහතිකපත් පිරිනැමීම සිදු වේ.
XXIII. මෙම ලේඛනයෙහි සිංහල, දෙමළ, සහ ඉංග්‍රීසි පරිවර්තනයන්හි අර්ථයන් අතර යම් ගැටළුකාරීත්වයක් පැනනැගුනහොත්, සිංහල භාෂා ලේඛනය මුල් ලේඛනය සේ සලකනු ලැබේ.
ව්‍යාපෘති කාලරාමුව
කෘතීන් භාරගැනීම ආරම්භක දිනය: 2026 ජූලි 15
කෘතීන් භාරගැනීම අවසන් දිනය: 2026 අගෝස්තු 31
රාජ්‍ය දෘශ්‍යකලා අනුමණ්ඩලය
සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව
8වෙනි මහල, සෙත්සිරිපාය, බත්තරමුල්ල.
කේ.එස්. දිල්හානි අධ්යක්ෂ,
සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව
විමසීම්:-
ලේකම්, රාජ්‍ය දෘශ්‍ය කලා අනුමණ්ඩලය- 0112882551
Website:- https://www.dca.lk
Facebook:- https://www.facebook.com/culturaldept.gov.lk